Monday, September 5, 2011

පුරුද්ද



පුරුද්ද කියන්නේ හරි පුදුම දෙයක්..

සමහරුන්ට නම් ජම්මෙට
වඩා පුරුද්ද ලොකුයිලු හැබැයි
චාලිට නම් එක පුරුද්දක්
දිගටම තියෙන්නේ නෑලු

පුංචි කාලේ පුංචි පත්තර
අරගෙන කියවන එක තමා
පුංචි චාලිගෙ ලොකුම පුරුද්ද

පුංචි පත්තර වල තියෙන
පුංචි ප්‍රහේලිකා පුරවන්න
පුංචි චාලි හරි ආසයි

පුංචි චාලි ලොකු වෙනකොට පුංචි පත්තර එපා වුනා
ලොකු වෙන චාලිගෙ පුරුදු තිබ්බේ ගමේ යාලුවෝ එක්ක
යාලුවො කරන ඕන මඤ්ඤං වැඩක චාලිත් හිටියා

Thursday, August 18, 2011

මූණුපොත් අහස්පේ කුමකටද තිබියදී සිහින.......


මතකයි මට පුංචි කාලේ
ගුරු පාරෙන් බස් පාරට
පියා සමග ඇවිද ගියපු ඒ කාලය

මට මතකයි ඒ කාලයේ
තිබුනේ නෑනේ දුරකතනය
රුපියල් පහේ මුද්දරයට
ලියුම් යවපු ඒ කාලය

මට මතකයි ලොකු අම්මා
ලොකු එයාර් මේල් කවරයක
ලියුම් එවපු ඒ කාලය

මට මතකයි ඊට පස්සේ
අපේ ගෙදර මැද සාලෙට
තාත්තා ගෙනා දුරකතනය

මට මතකයි අපේ අම්මා
මහනුවරට, නුගේගොඩට
කතා කරපු දුරකතනය

Friday, August 12, 2011

ආතල් ගන්නේ අපි කවද්ද???????












පුංචි කාලේ අම්මා කිව්වා
ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය
පාස් වුනොත් පුතා දිනුම්
ඊට පස්සේ ලොකු ඉස්කෝලේ
පාඩම් වැඩ කරදර නෑ
මෙය විතරක් පාස් වෙයන්

දහයෙදි ලොකු අයියා කෙනෙක්
ඇවිල්ලා පොර මෙහෙම කිව්වා
මල්ලියේ තව පොඩ්ඩයි සා/පෙට
ගොඩ දාපන් ඕක හොදට
ඊට පස්සේ ඒ ලෙවලුයි
පුල් ආතල් සාගරයයි

ඔන්න ඉතින් ගොඩ දැම්මා
ආවේ ඒ ලෙවල් වලට
ඔන්න ඉතින් මිස් කියාපි
වැඩ කරපන් පුතා හොදට
මේ අවුරුදු දෙක තමයි කට්ට
වාසිටියේ ගේමක් නෑ
ප්‍රොෆෙසර් උඹහට කියාවි
පේපරයට එන්නෙ මොනද

Sunday, August 7, 2011

කැකිරාවේ අලි සහ මාලේ අලි

ඔන්න චාලියා කියන්න යන්නේ උණු කැවුම් වගේ කථාවක් මේක අපේ ෆැක්ටරියේ කොල්ලෙකුට ගිය සතියේ උනු ඇබැද්දියක්.

මම මේ කියන්න යන කතාවේ ඉන්න මල්ලි අපේ ෆැක්ටරියට බැදුනේ ලගදි. මෙයාව ෆැක්ටරියට ගත්තේ අපේ ප්‍රඩක්ෂන් එකේ ශාන්ත අයියා. ඒ හින්දා මෙයාට හැමෝම කිව්වේ පොඩි ශාන්ත කියලා. මිනිහා කැකිරාවේ එහෙම තමා ශාන්ත අයියා කිව්වේ. මේ ලගදි චාලි මහරගම කිව්වාට මහරගම ඔරලෝසු කණුව ලග නෙමේ කියලා හිරන්ත අයියා ඔප්පු කරලා හෙන නාඩගමක් නැටුව හින්දා චාලිත් ඇහුවා මිනිහා කැකිරාවෙමද කියලා. 

කැකිරාවෙම නෙමේලු කැකිරාවේ තමා ලගම සමුපකාරේ තියෙන්නේ. මිනිහා කලා වැව ගාවලු. ඒක එහෙමමද චාලි ඇහුවා නෑ එතන තමා ලගම පෝස්ට් ඔෆිස් එක. ඔන්න ඔහොම තව කිලෝ මීටර් 20ක් විතර ගිහින් තියෙන කඩයක් ගාවින් හැරිලා තව කිලෝ මීටර් ගානක් යන්න ඕන.ඒක වෙන්න ඇති ලගම කඩේ. මිනිහා අපි එයි කියලා බයට එහෙම කිව්වාද මන්දා. චාලි ඇහුවා ඉතින් ඔය පාරේ අලි එහෙමත් ඇති නේද කියලා. පිස්සුද? අපේ පැත්තේ කොහෙද බං අලි කොල්ලා එහෙම කිව්වා. අපිත් ඉතින් පිලිගත්තා වගේ හිටියා.

ඔන්න දැන් එන්නම් මම කියන්න යන කතාවට

Tuesday, August 2, 2011

ටූනාලන්තෙ වෙඩිම ජයටම

ඔන්න ඉතින් කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ ටූනාලන්තෙ වෙඩිමට යන්න චාලි ඇතුලු පිරිස ලෑස්ති වෙච්ච විදිහ .

ඔන්න ඉතින් 28 වෙනිදා තමා මේ කියාපු වෙඩිම තිබ්බේ. රාත්‍රී 8.30 ඉදන් 10.30 දක්වා කියලා තමයි කාඩ් එකේ දාලා තිබ්බේ. චාලි ඉතින් පුරුද්දක් විදිහට ඔෆිස් යෑමට හැර අනිත් හැම වැඩකටම පොඩ්ඩක් වෙලාව වැඩිපුර තියලා තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න චාලි ඔය පුරුදු විදිහටම ඉතින් 6.15 ට විතර ඕෆ් වෙලා කාමරේට ගියා. ඊට පස්සේ වොශ් එකක් එහෙම දාලා ඇදුම් මැදලා සපත්තුත් පොලිශ් කරලා වරුණගේ සහ සිවා අයියාගේ කාමර වලට තට්ටු කර බැලුවා අද වත් වෙලාවට ලෑස්ති වෙලාද කියලා.

මොන පිස්සුද දෙන්නාටම නින්ද ගිහිල්ලා. ආය කාමරේට ගිහින් හෙමීට ලෑස්ති වුනා. දෙන්නාව එලියට ගන්න කොට අටයි කාලත් පහුවෙලා. තුන් දෙනාටම ඕන වුනේ කොහොම හරි 8.30 ෆෙරි එකේ යන්න මොකද වෙඩිම තිබ්බේ මාලේ හෝල් එකක ඉතින්  අපි ඉන්න හුලුමාලේ ඉදන් ෆෙරි එකක තමයි මාලේ යන්න ඕන. එලියට බහින්න හම්බ වුනේ නෑ අපි දන්න කියන සුරංග මානවඩු ආවා එයාට ලගදි එංගලන්තෙ ඉන්න බාප්පා එවපු කැමරාවකුත් අරගෙන. ඔන්න ඉතින් මිනිහාගේ වදෙන් බේරෙන්න බැරිකමට චාලි ඇතුලු පිරිස පෙනී සිටියා එකම එක ෆොටෝ එකකට. ඒත් ඉතින් ටැක්සිය ෆෙරි ටර්මිනල් එකට යනකොට 8.30 ගිහින් ඔන්න සෙට් එකම නැග්ගා 8.45 ෆෙරියේ බලාගෙන යනකොට අපි විතරක් නෙමේ පරක්කු. මනමාලිගේ අම්මාත් ඉන්නවා ඒ ෆෙරියෙම.

එකක් කියන්න ඕනෙ ටූනාලන්තෙ මිනිස්සු ගැන අර දීපාල් සිල්වාගේ සින්දුවක් තිබුනේ උන් 7 කියන්නේ 8 ට පුතේ කියලා. ඔන්න ඕක ටූනාලන්තෙ මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තොත් වෙනස් වෙනවා මේ විදිහට උන් 7 කියන්නේ 9.30 ට විතර පුතේ කියලා. හැබැයි ඉතින් ඕකත් වෙනස් වෙනවා ෆෙරි වලටයි බස් වලටයි එනකොට මොකද උන් 7 කියන්නේ 6.59ත් නෙමේ 7.01 ත් නෙමේ 7 ම තමා.

Friday, July 29, 2011

දික්කසාදයක පලමු පියවර

චාලිව බලන කට්ටිය දන්නවා ඇතිනේ ඉතින් දික්කසාදය කියන්නේ මොකක්ද කියලා. නොදන්න අය නම් හිතයි කසාදය දික් වෙන එක කියලා. දන්න අය ඕකට කියන්නේ කසාදය කටු ගානවා කියලා. සිංහලෙන් අපි කියන්නේ ඩිවෝස් වෙනවා කියලා. පොශ් විදිහට කියනවා නම් ඒගොල්ලෝ දැන් සෙපරේට් වෙනම ඉන්නේ. ඔය දික්කසාදයක පලමු පියවර මොකක් කියලාද ඔය ගොල්ලෝ හිතන්නේ. වලං මුට්ටි පෙරලගෙන ගහ ගැනීම? සැමියා බීලා ගෙදර පැමිණීම? ඔව් ඉතින් ඔය කියපුවත් එක එක පියවර වල් තමා හැබැයි ඉතින් දික්කසාද වෙන්න ඉතින් කසාද බැදලා ඉන්න එපායෑ නේද? ඒ හින්දා  ඉතින් දික්කසාදයේ පලමු පියවර වෙන්නේ කසාද බැදීම කියලා තමා චාලිට හිතෙන්නේ.

ඔය ගොල්ලෝ දන්නවද දන්නේ නෑ අපි මේ ඉන්න ටූනාලන්තෙ තමා ලෝකේ දික්කසාද අනුපාතය වැඩිම රට.සංඛ්‍යාත්මකව ගත්තොත් 10% ඒ කියන්නේ කසාද දහයක්  සිද්ද වුනොත් ඉන් එකක් ඉවර වෙන්නේ දික්කසාදයෙන්. 

ඔන්න අටුවා ටීකා ටිප්පනි කියලා ඉවරයි. දැන් බහින්නම්කෝ කතාවට. චාලි දැන් ටූනාලන්තෙට ඇවිල්ලා අවුරුදු තුනකුත් ඊයේ පෙරේදා ඉවර උනා. ඒත් චාලිට ගිය සතියේ තමා ටුනාලන්තෙ වෙඩිමකට එන්න කියලා ඇරයුම්පතක් ලැබුනේ. චාලිට ඇරයුම්පත දුන්නේ ඔෆිස් එකේ ඉන්න දොන් හියාලා කෙනෙක්. දැන් මේ ඇරයුම්පත ලැබුනත් හරි චාලිට ප්‍රශ්න ගොඩයි. ටූනාලන්තෙ වෙඩිමකට මීට කලින් ගිහිල්ලත් නෑ. මොනවද අරන් යන්නේ?  මොනවද ඇදගෙන යන්නේ? ඒ සේරටම වඩා චාලි ආසාවෙන් හිටියේ මොනවද ටූනාලන්තේ මංගල චාරිත්‍ර කියලා බලාගන්න.

Tuesday, July 26, 2011

අදුරු සළු අතරින්

මාලේ පාරක
තනිවූ මොහොතක
අදුරු සළු අතරින්
මා දුටු දෑසක්

ඒ දෑසේ කතාව
ලොවට කියන්නට
විවර කරනු මැන
ඔබගේ හදවත්

මාලෙට නිදහස
ලැබුනේ අද වැනි දින
බුර්කාවෙන් නිදහස
කෙදිනද ඈ හට...........

Saturday, July 23, 2011

කඩා හැලෙන අළු සමග දැවී යන ජීවිතය


සිත සිතයි ලත උනේ
කුමක් ගැන ලියනුයේ
හදිසියේ මතක් උනේ
හිසරදේ දුම් වැටියේ

ගෝල්ඩ් ලිප්ද ඔබ බොන්නේ
බෙන්සන්ද ඔබ බොන්නේ
දෙකේ වෙනසක් නැත්තේ
පෙනහළුය පිච්චෙන්නේ


ගණිනු මැන දිනකට                                           අවුරුද්දකට ගණිනු මැන
බොන්නේ දහයක් සිතලා                                   හැත්තෑ දෙදහක්ය
එයම වෙයි සතියකට                                         දැන් ඉතින් සිතනු මැන
හැත්තෑවක්ම පැනලා                                         පරව ගිය අතීතය

දුම්වැටිම කීයක්ද                                               බඩු මිලත් වැඩි වන්නේ
මසක ඔබ උර ඇත්තේ                                      කිමද මැසිවිලි ලන්නේ
මෙලෝ සිහියක් නැද්ද                                      අඩු කලොත් පහ ගානේ
තුන් සියට එය නැග්ගේ                                     තුන්දහක් ඉතුරුයිනේ

ලංකාවෙ ඔබ ඉන්නේ                                       කිමද සිත සිත ඉන්නේ
විස්සක්ය එය වෙන්නේ                                    පමා වී තව නැත්තේ
මසක ඔබ පුච්චන්නේ                                      පෙනහළුය දියවන්නේ
හයදහක් පොඩි නැත්තේ                                  සමාගම් තර වෙන්නේ

Sunday, July 17, 2011

1442 ලව් ස්ටොරි ඉන් මොල්දිව්ස්

ඔන්න චාලියා අදත් කියන්න යන්නේ මාලදිවයිනේදි ඇහුණ කතාවක්. මේකත් ඔය අනිත් ඒවා වගේම රජ කාලේ කතාවක් හැබැයි මේකේ පොඩි විශේෂයක් තියෙනවා මේක ඇවිල්ලා ආදර කතාවක්.
ඔය අපි අහලා තියෙනවානේ රෝමියෝ ජුලියට් ඊට පස්සේ ලයිලා මජ්නු එහෙම නැත්තම් ලංකාවට ආවොත් සාලිය අශෝකමාලා වගේ ආදර පුරාවෘන්ත මේකත් ඒ ගණයට වැටෙන මාලදිවයිනේ වෙච්ච කතාවක් මේකෙ පටන් ගැනීම ටිකක් දීඝ ගාමිණී උන්මාද චිත්‍රා කතාවට සමාන කමක් තියෙනවා. හැබැයි අවසානය නම් ඊට වඩා සෑහෙන්න වෙනස් කියවලම බලන්නකෝ.

දොන් හියාලා

දොන් හියාලා කියන්නේ මේ කතාවේ ප්‍රේම වන්තියගෙ නම. මැය අතිශයින්ම රූමත් කාන්තාවක්ලු හිතාගන්නකෝ අයිශ්වර්යා පරාදයි කියලා. කොහොමත් මාලේ කෙල්ලො ලස්සනයි කියලා මම ඔයාලට අර සල්ලාල රජ්ජුරුවන්ගේ කතාවේ කිව්වානේ. ඉතින් අතිශයින් රූමත් කිවාම ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන්නේ මොන වගේ ඇත්ද කියලා.මෙයා මෙච්චර ලස්සන නිසා මෙයාගේ අම්මයි තාත්තයි පොඩි කාලේ ඉදන්ම මෙයාට පිට අයගේ ඇස්වහ නොවැදෙන්න වැඩ කටයුතු සකස් කලා.

ඒ කොහොමද දන්නවද?

මෙයාව ඒගොල්ලො ඇති දැඩි කලේ ගෙදර යට උමන් කාමරයක. ඒකයි මම කිව්වේ මේක ඔය උන්මාද චිත්‍රා සහ දීඝ ගාමිණී කතාව වගේ කියලා.

අලි ෆුල්හු

අලි ෆුල්හු තමා මේ කතාවේ රෝමියෝ නැත්තම් ප්‍රේමවන්තයා එයා ඉදලා තියෙන්නේ හුල්හුදෙලි කියලා දූපතක. වැඩේ කියන්නේ මේ පොරත් ඉපදිලා තියෙන්නේ ඔය දොන් හියාලා ඉපදුණ වෙලාවෙමයි. ඔය අතරේ දවස් දෙක තුනක් මෙයාට සිහිනෙන් පෙනිලා තියෙනවා එයාට හිමි මේ දොන් හියාලා කෙල්ල බුරුනි කියලා දූපතක ඉන්නවා කියලා. මොකද නක්ෂත්‍රය අනුව මේ දෙන්නා එක් විය යුතු බව නිසා මෙහෙම සිහිනයක් පෙනුනා කියලා තමා ජන කතාවල නම් එන්නේ.

Monday, July 11, 2011

කොයිමලාගේ පැමිණීම සහ මාලේට නම හැදුනු හැටි

ඔන්න මම කියන්න යන්නේ ජන කතා ටිකක් හැබැයි මේවා සිංහල ජනකතා නම් නෙමේ මේ ජනකතා ඇහෙන්නේ මාලදිවයිනෙන්.

මාලදිවයින හැදිලා තියෙන්නේ දූපත් 1200 කින් විතර කියලා හුගක් අය දන්නවානේ හැබැයි ඉතින් මේවාගෙන් ජනාවාස වෙලා තියෙන්නේ දූපත් 200ක් විතර කියලයි ගණන් හදලා තියෙන්නේ.මාලදිවයිනේ හුගක් ජනකතා පදනම් වෙලා තියෙන්නේ පොල් ගහයි ටූනා මාලුවායි එක්ක තමා.

මාලදිවයිනේ පදිංචි වුන මුල්ම ජන කොට්ඨාශය ලෙස හැදින්වෙන්නේ දකුණු ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන් සහ ලංකාවෙන්  පැමිණ ගිරාවරු දූපතේ පදිඃචි වූ ද්‍රවිද ජාතිකයනුයි.අද මේ දූපතේ සංචාරක හෝටලයක් ඇති අතර මිනිසුන් ජීවත් වන්නේ නෑ. මෙහි පදිඃචි වූ මුල් පදින්චිකරුවන් තමන්ගේ ජීවන වෘත්තිය කර ගත්තේ ධීවර කර්මාන්තය.මෙහෙ ඉතින් වෙන මොනවා කරන්නද නේද?

ඔය ධීවරයෝ තමන්ට හොදට මාලු අහු වෙච්ච දවසට පුරුද්දක් විදිහට ඒ මාලු කපලා සුද්ද කරන්න ආවේ ෆිහොල්හු දූපත ලග තියන වැලි තලාවටලු. ටික දිනක් මේ විදිහට දිගටම හොදට මාලු අහු වෙන කොට මාලු සුද්ධ කර කර හිටපු මිනිස්සු දැක්කාලු ගොඩක් මාලු කොටස් සහ ලේ ගිහින් මුහුදේ පැත්තක් ලේ පාට වෙලා තියෙනවා. මේක දැකපු මිනිස්සු "මහා ලේ විල" කියන නම දැම්මාලු මේ ප්‍රදේශයට. ඕක තමා පහු කාලෙක වෙනස් වෙවී ඇවිත් මාලේ කියන නම දැන් හැදිලා තියෙන්නේ.

ඔහොම මේ මාලේ දූපතත් ටික ටික ජනාවාස උනාට මේ දූපතට රජෙක් ඉදලා නෑ. එහෙම  ඉන්නකොට තමා ආපහු පාරක් ඉන්දියාව පැත්තෙන් කොයිමල කියලා කෙනෙක් ලොකු නැවකින්  තමන්ගේ පිරිවරත් එක්ක මාලේ දූපතට බැහැලා තියෙන්නේ. හරියටම ඔය විජය කුමාරයා ලංකාවට ආවා වගේ හැබැයි ඒ කාලේ මාලේ නම් කුවේණියක් හිටියා කියලා ඇහෙන්න ලැබෙන්නේ නෑ.එයා ඇවිත් මේ දූපතේ ටික කාලයක් ඉන්න කොට ජනතාව මේ කොයිමල තමන්ගේ රජා කියලා පිලි අරගෙන එයාට මාලිගාවක් එහෙමත් හදලා දීලා තියෙනවා. ඊට පස්සේ තමා මේ දූපතේ ගස් එහෙම පැල කරන්න පටන් ගෙන තියෙන්නේ.

දන්නවද මාලේ මුලින්ම පැල කරපු ගහ මොකද්ද කියලා?

ඒ තමා පැපොල් ගහ........

මාලේ ගැන තව කතා තියෙනව කියන්න ඒවා පස්සෙ කියන්නම්................(හුගක් ඒවා හොල්මන් කතා)

Sunday, July 3, 2011

සිංහාවලෝකනය

ලෝඩ්ස් ක්‍රීඩා පිටිය හදුන්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර කියලනේ. ඉතින් මේ පිට්ටනියේ ශතකයක් වාර්තා කිරීම ඕනෑම ක්‍රීඩකයෙක්ගෙ සිහිනයක්. අද අපි දැක්කා දිනේශ් චන්දිමාල් මේ පිට්ටනියේ එයා සහභාගී වෙච්ච පලමු තරගේදීම ශතකයක් වාර්තා කරනවා.හැබැයි එක ක්‍රීඩකයෙක්ගේ සුවිශේෂ කැපවීමක් නොවන්නට මේ ශතකය ලකුණු අනූ ගණනකට සීමා වෙන්න ඉඩ තිබ්බා.ඒ කැපවීම කලේ කණ්ඩායමේ උප නායකත්වයට නියම සුදුස්සා වන ඇන්ජලෝ මැතිව්ස්.
ඔහු දිනේශ්ගේ ශතකය වෙනුවෙන් දිනේශ්ටත් වඩා අවදානමක් ගත්තා.ඒ අවදානම කොතෙක්ද කියනවානම් තරගය පැරදීමට වඩා පවා ඉඩකඩ තිබ්බා. කොටින්ම කියනවානම් ශ්‍රීලංකා ඉනිමේ අන්තිම පන්දුවාර කිහිපය තරගයකට වඩා චිත්‍රපටියක හෝ ටෙලි නාට්‍යයක ස්වරූපයක් ගත්තා. ඒ නිසා තමා මෙහි මාතෘකාව ලෙස මම "සිංහාවලෝකනය" යන්න යොදා ගත්තේ.ඒ පන්දුවාර වල ස්ටාර් ක්‍රිකට් කැමරාව පිටිය දෙසට වඩා යොමුව තිබුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ විවේකාගරය දෙසට මොකද  කණ්ඩායමේ නායක ඩිල්ශාන්ට පවා හොදටම කේන්ති ගිහින් තිබ්බ බවක් තමා දිස් උනේ. විශේෂයෙන්ම ග්‍රැහැම් ස්වෝන්ගේ සහ ඩර්න්බාර්න්ච්ගේ පන්දුවාර දෙකකදී එකදු ලකුණක් වත් ලබා ගන්නට මැතිව්ස් උත්සාහ කලේ නෑ. එක වරක් චන්දිමාල් ලකුණක් සදකා විකට් අතර ඇති යාර විස්සෙන් යාර පහලවක් පමණ දිව ආවත් මැතිව්ස් ඔහුව හරවා යැව්වා.

ඒ අතර පිතිකරුවන්ට පණිවිඩයක් රැගෙන පැමිණි ක්‍රීඩකයාව පවා විනිසුරුවරයා හරවා යැව්වා. එංගලන්ත ක්‍රීඩක පීටර්සන් සමග වචන හරඹයකට මැතිව්ස් මැදි වන්නෙත් චන්දිමාල්ට ශතකය ලබා දීමේ උවමනාව නිසයි. තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී පවා එංගලන්ත නායක ඇලිස්ටයාර් කුක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ හැසිරීම විවේචනයට ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් චන්දිමාල්ගේ පිත්තෙන් ලකුණු 100 ලබා ගැනීම සදහා එල්ල කරන 6 පහර මැතිව්ස්ට, චන්දිමාල්ට වගේම සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට අස්වැසුමක් ගෙනදුන් පහරක්.ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලෝඩ්ස් පිටියේ එක් දින තරගයකදී ලබාගත් තුන් වන ශතකය මෙයයි මීට පෙර මේ දස්කම සිදු කර ඇත්තේ මාවන් අතපත්තු සහ උපුල් තරංගයි.ටෙස්ට් තරග වලදී නම් අපේ ක්‍රීඩකයෝ ශතක 7ක් වාර්තා කර තිබෙනවා ඉන් 2ක්ම මහේල ජයවර්දනගේ.
මෙය නැරඹූ ඔබ සමහරවිට මැතිව්ස්ගේ මේ ව්‍යායාමයට සහය පලකරන්න ඇති කොටින්ම කියනවා නම් චාලිත් හිටියේ ඒ පැත්තේ හැබැයි වැරදිලාවත් ඒ අවස්තාවේ ඒ විකට් දෙක සමග තවත් විකට්ටුවක් ඇද වැටී තරගය පැරදුණා නම් ඔබ සියල්ල සිටින්නේ මැතිව්ස්ට චෝදනා කරන පාර්ශවයේ බව නොඅනුමානයි.
ඔය ගොල්ලන්ට මොකද හිතෙන්නේ මැතිව්ස්ගේ පන්දු 21 ලකුණු 1 යි ඉනිම ගැන ලියන්න කමෙන්ට් බොක්ස් එකේ.................

මෙන්න ලින්ක් එක ඔබ බැලුවෙ නැත්තම්

Saturday, June 25, 2011

කිලින් ෆීල්ඩ්ස් (ශ්‍රීලාංකීය දඩබිම්) බොරුවක්ද, බයිස්කෝප් එකක්ද නැත්තම් ඇත්තද?


මොකද්ද මේ කිලින්ග් ෆීල්ඩ්ස්

හැමෝම කතා වෙනවා.මටත් හිතුනා බලන්න මොකද්ද මේ වාර්තා චිත්‍රපටිය කියලා.ටිකක් බලන් යනකොට තමයි තේරුනේ මේක වාර්තා නෙමේ  හොදට සැලසුම් කරලා හදපු චිත්‍රපටියක් කියලා. ඊට පස්සේ තමා මේක ගැන පොඩ්ඩක් උනන්දුවෙන් හොයලා බැලුවේ. මේ බයිස්කෝප් එක හදලා තියෙන්නේ කැලම් මැක්‍රේ කිය්ලා පොරක් ඔය ඉන්නේ එහා පැත්තේ කැමරාවක් බදා ගෙන බුවා තමා මේක හදලා තියෙන්නේ.
2009 අප්‍රියෙල් මාසෙත් චැනල් 4 කට්ටිය 3 දෙනෙක් එවලා තියෙනවා ලංකාවේ යුද්දේ ගැන බයිස්කොප් එකක් හදන්න.හැබැයි මේ නාඩගම හමුදාවට අහු වෙච්ච ගමන්ම තුන් දෙනාව පිටුවහල් කරලා යැව්වා.ඊට පස්සේ එහෙන් මෙහෙන් ලංකාවේ යුද්දේ ගැන අපේ හමුදාවේ වෙබ් අඩවියේ තිබ්බ වීඩියෝ සහ ජංගම දුරකතන වල පටි ගත වෙච්ච පොඩි පොඩි සීන් සහ ඒ ගොල්ලෝ පස්සේ රූ ගත කරපු දර්ශන ඔබලා තම කැලම් කාරයා ඔය බයිස්කෝප් එක හදලා තියෙන්නේ.

අපි හැමෝම දන්නවනේ වියට්නාම යුද්දේට මොකද වුනේ කියලා.ඇමරිකන්කාරයෝ යුද්දේ දින්නේ ෆිල්ම්ස් වලින් විතරයි.මතකනේ කෝල් ඔෆ් ඩියුට්.ඒ හින්දා ඔය ඇමරිකන්කාරයෝ  හරි කැමතියි යුද්දයක් ඉවර උනාම පොඩි ෆිල්ම් එකක් ගහලා ආතල් එකක් ගන්න.ඒකත් ඒගොල්ලෝ කැමති පාර්ශවයට වාසි වෙන විදිහට.ඉරාක යුද්දෙදි දැනට කල ගණනය කිරීම් වලින් පමණක්  සිවිල් ජනතාව 110,761 ක් මිය ගොස් තිබෙනවා.මේවා ගැන ගෝර්ඩන් වේස්ලා නිහඩව ඉන්න එක තමා ප්‍රශ්නේ.

එහෙම නැත්තම් ඕන තරම් උන්ට ෆිල්ම් ගහන්න තිබ්බානේ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ ඉදන් ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වෙනකම් මිනිස්සු කී දෙනෙක් මැරුනාද? ඔය අරන්තලාව භික්ශු ඝාතනය, ශ්‍රී මහා බෝදිය ඉස්සරහා, දලදා මාලිගාව ඉස්සරහා,එතකොට මහ බැංකුව ඉස්සරහා තිබ්බ බෝම්බ , එක සුද්දෙක් ගැහුවද බයිස්කෝප් එකක් ඔය දේවල් වෙනකොට.කිසිම හේතුවක් නැතුව ඉරාකෙට ගැහුවා.කෝ ඒවට බයිස්කෝප්. එතකොට බින් ලාඩන්ව මැරුවෙ නඩු අහලැයි ඕං.ලංකාවේ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරා නම් ඔය සුසේගේ ගෙදර උන්දෑ,එතකොට තමිල් සෙල්වම්ගේ හාමිනේ, ප්‍රභාකරන්ගේ දෙමව්පියෝ බේර ගත්තේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකෙන්ද?


හරි දැන් එමු මේ අලුත් බයිස්කෝප් එක දිහාවට

Thursday, June 16, 2011

කන්නේ කෙලවල්ලෝ කෝරා හාලේ බතට


ඉන්නේ හුලුමාලේ ෆැක්ටරියක මාලු
ආවේ දේසෙන්මි පරසිදු ඔලිද හට
අඩි පහ ඉඩ හොදටම ඇත සැතපෙන්න
පැදුර නැතද, ලෑල්ල වුව කමක් නැත

කන්නේ කෙලවල්ලෝ කෝරා හාලේ බතට
දමා ගන්නෙ වතුරත් කන බත් පතට
කා නිම වෙන්නෙ ලෙව කෑමෙන් ඇගිලි පහ
බලා ඉන්නෙ කොහොමද මේ කන විදිහ


මාලු උස්සලයි ඇග පත රිදෙන්නේ
යකා බැද ගත්තා වගෙයි වැඩ කරන්නෙ
OT නැතත් මහ රෑ වැඩ කරන්නේ
කම්මැලි කම එහෙ තියලයි අපි මෙහෙ ආවේ

මෙහේ ඇවිත් අවුරුදු හත අටක් වෙති
තම රට යන්න කාගෙත් කිසි වගක් නැති

මාලදිවයිනේ කොහේ ගියත් බංග්ලාදෙශ් ජාතිකයෝ වැඩ කරනවා ඔවුන් වැඩ කරන හැටි දැකලා තමා මට මේ කවි පන්තිය ලියන්න හිතුනේ.

Thursday, June 9, 2011

සනත්, සචින්, රිකී සහ විශ්‍රාම යාම

"පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ටිරාන් ජයසූරිය",එහෙම කිව්වාම සමහර අය හිතයි කවුරු ගැනද ඒ කිව්වෙ කියලා.

සනා බෝයි එහෙම නැත්තම් මාස්ටර් බ්ලාස්ටර් එහෙම කිව්වොත් නම් කට්ටිය දන්නවා.පහුගිය කාලේ ඒ කිව්වේ ලෝක කුසලානය දවස් වල සහ ඊට පස්සේ හුගක් අය මෙයා ගැන කතා වුනා ඇයි මෙයා විශ්‍රාම යන්නෙ නැත්තේ කියලා ඇහුවා.
ඊයේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හොද තීරණයක් අරන් තිබ්බා ඒ තමා මේ සුපිරි ක්‍රීඩකයාට ගෞරවාන්විතව විශ්‍රාම යන්න අවස්තාවක් ලබා දීම. ඒ ඔහුව එංගලන්ත සංචාරයට කැදවලා. සනත් මේ අවස්තාව අපූරුවට පිලිගත්ත බව තමා අද  මාධ්‍ය වාර්තා කරලා තිබුනේ.ඒ ඔහුගේ සමුගැනීම නිවේදනය කරලා.
සමහරු කියනවා අපරාදේ නවකයෙකුට අවස්තාවක් ලබලා දුන්නා නම් ඉවරයි කියලා.ඒ වුනාට Cricket වාර්තා පොතේ අතුරු සිදුරු නැතිව නම තියපු මේ ක්‍රීඩකයාව නිකන්ම හිස් අතින් යවන එකට වඩා මේ දුන්න අවස්තාව අගය කරන්න වෙනවා.
සනත්ගේ සමහර වාර්තා මේ වෙනකොට බිදිලා ගිහිල්ලා.හුගක් ඒවා සහිඩ් අෆ්‍රිඩී තමයි  සතු කර ගෙන තියෙන්නේ.පුදුමත් හිතෙනවා එක ක්‍රීඩකයෙකුට මෙච්චර වාර්තා තිබ්බද කියලා.වේගවත්ම පනහ වේගවත්ම එකසිය පනහ විතරක් නෙමේ තව ගොඩක් වාර්තා තාම නොබිදී පවතිනවා.ඒ අතර මම දැක්කා අරුම පුදුම වාර්තාවක්  ඔයගොල්ලෝ දන්නවනේ  ටෙස්ට්,එක් දින සහ 20-20 කියන හැම තරග මාදිලියකම  වැඩිම ලකුණු වාර්තාව තියෙන්නේ ලංකාවට කියලා. ඒකට හේතුවත් සනත්ම තමා මොකද ඔය හැම තරගයකදිම වැඩිම ලකුනු රැස් කරලා තියෙන්නේ සනත්. සනත්ගේ වාර්තා ඔක්කොම මේ ලින්ක් එකේ තියෙන ලිපියෙ තියෙනවා කියවලා බලන්නකෝ.


සනත් සමුගන්නවා කිව්වාම මට මතක් උනා තව ක්‍රීඩකයෝ දෙන්නෙක් ගැන ඒ තමා සචින් ටෙන්ඩුල්කාර් සහ රිකී පොන්ටින් මේ දෙන්නාටත් දැන් සමුගන්න කාලේ හරි කියලා තමා මට නම් හිතෙන්නේ.මොකද ඇයි ඔබ සමු නොගන්නේ කියන ප්‍රශ්නය අහනකම් ඉන්නේ නැතිව ඇයි ඔබ සමුගන්නේ කියන වෙලාවේ සමුගැනීම තමා වඩා හොද.දැනට ශතකයක් ලබා ගත්ත වයස්ගතම ක්‍රීඩකයා වීමේ වාර්තාව තියෙන්නෙත් සනත්ට මේ දෙන්නා ඒ වාර්තාවත් කඩන්නද දන්නේ නෑ ඉන්නේ.හැබැයි ඒක ලේසි වෙන්නෙ නෑ සනත් තම අන්තිම ඉනිමෙදි ඒ වාර්තාව අලුත් කලොත්.

සනා ඔබට සුබ අනාගතයක් අවසන් ඉනිමේ ශතකයක් ලබා ගැනීමට ශක්තිය ලැබේවා.

Sunday, May 29, 2011

අ‍පේ මාළු ෆැක්ටේරිය

ඒ මම ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් විගණන ආයතනේ වැඩ කරන කාලේ, හරියටම කිව්වොත් 2009 ජූලි, අපේ  අභ්‍යන්තර විගණනේ ලොක්කා නිවාඩු යන්න ලෑස්ති වෙලා කස්ටියට කරන්න වැඩ බාර දෙනවා. මට කතා කරලා කිව්වා එන්සිස් ‍ෆැක්ටරි එකේ අභ්‍යන්තර විගණයක් තියෙනවා ඒක ලබන සතියේ පටන් ගන්න කියලා. මට මොබයිල් අංකයකුත් දුන්නා ජිබාගේ (සිවා) (අපේ ඉන්දියන් බොසාලා එහෙම තමා "ස" යන්නට කියන්නේ "ජ" යන්න "ව" යන්නට කියන්නේ "බ" යන්න).කොහොම හරි මම කර කර හිටිය වැඩේ දිග් ගැහිලා එන්සිස් ‍එකට ගියේ මගේ විගණන ජීවිතේ හම්බ වෙච්ච හොදම යාළුවා මිලාන්.දවස් දෙක තුනකින් මමත් ගියා.අපි වැඩ පටන් ගත්තේ මාලේ තියෙන ප්‍රධාන කාර්යාලයෙන්.සතියකට විතර පස්සේ තමා ෆැක්ටරි එක බලන්න ගියේ.
ෆැක්ටරි එක තියෙන්නේ හුලුමාලේ. ඒ කියන්නේ මාලේ නගරයේ ඉදන් විනාඩි විස්සක් බෝට්ටුවක යන්න ඕනේ.එතන ඉදන් තව විනාඩි දහයක් පයින් යන්න ඕනේ.එක ගොඩනැගිල්ලක තමා ඔක්කොම තියෙන්නෙ ඒ කිව්වේ ෆැක්ටරිය ගිණුම්, මානව සම්පත්, පරිපාලන, මෙහෙයුම් අංශ විතරක් නෙමේ.ෆැක්ටරි එකේ වෑඩ කරන 180 වක් විතර වන සේවකයන්ට නවාතැන් පහසුකම් දීලා තියෙන්නෙත් එකම ගොඩනැගිල්ලේ.

මාලදිවයිනේ මාලු අහුවෙන කාලයක් තියෙනවලු.අපි ගිය කාලේ මාලු අහුවෙන්නේ නැති කාලේ අපිට නිශ්පාදන ක්‍රියාවලිය බලන්න යන්න ඕනෙ කියලා අපි කිව්වෙ ගියපු පලවෙනි දවසේ වුනත් අපිට ඒ අවස්තාව ලැබුනේ සති දෙකකට විතර පස්සෙ.හදිස්සියෙම දවසක් නිශ්පාදන කලමනාකරු ඇවිල්ලා කිව්වා.අද ඔයගොල්ලොන්ට නිශ්පාදන ක්‍රියාවලිය බලන්න පුලුවන් කියලා. කාලෙකට පස්සේ එදා මාලු ඇවිල්ලා තිබුනා.මාලුවා කිව්වට හෑම මාලුවම මේ ෆැක්ටරි එකේ කපන්නේ නෑ යෙලෝ ෆින් ටූනා කියන මාලුවා තමයි වැඩිපුරම අපනයනය කරන්නේ.යෙලෝ ෆින් ටූනා ගැන වැඩි විස්තරයක් දැන ගන්න ඕනේ නම් රුකාගේ බ්ලොග් අවකාශයේ සී චිකන් කියන පෝස්ට් එක බලන්න.

මේ ෆැක්ටරියේ ක්‍රියාවලිය පටන් ගන්නේ ජැටි එකෙන් එතනට තමා ධීවරයො මාලු අල්ලලා ගේන්නේ එතකොට මාලුන්ගේ මිල නියම වෙල ඉවරයි ඒ කිව්වේ ජෑට්යට ගේන්න කලින් ධීවරයො මාලුන්ගෙ මිල ගණන් මෙහෙයුම් කලමනාකරු එක්ක කතා කරගෙන තමයි මාලු අරගෙන එන්නෙ. මම නම් එච්චර ලොකු මාලු දෑක්කෙත් එදා තමයි සමහර මාලු කිලො අසූවක් ව්තර බරයි.ඒ වුනාට පස්සේ දෑන ගත්ත තොරතුරු වලට අනුව ලංකාවෙත් මේ වගේ මාලු රට යවන කම්පෑනි 38 ක් විතර තියෙනවාලු.හෑබයි GSPසහනය අහිමි වීමත් එක්ක ඒ ෆෑක්ටරි හුගක් අමාරුවෙන්ලු දුවන්නේ.අපි ජැටියට ගියේ මාලු Grade කරනව බලන්න.එතනදි මාලුන්ව Grade A, Grade B, Half grade කියලා grade කිහිපයකට වර්ග කරනවා.ඒකට පාවිච්චි කරන්නේ Grading කූර ඒකෙන් මාලුවට ඇනලා මාලුවගේ ඇගේ තියෙන මස් සාම්පල් එකක් එලියට ගන්නවා.ඒකේ තියෙන පාටයි හැඩයයි අනුව තමා මාලුවගෙ grade එක තීරණය වෙන්නේ.ඊට පස්සෙ තමා ඒ මාලු factory එකට එවන්නේ.එතනදි Receiving supervisor තමා මාලු භාර ගන්නේ.අපේ audit එක කරන කාලෙ නම් Receiving supervisor හිටියෙ රුකා අයියා.එයා චෙක් කරනවා ග්‍රේඩර් දුන්න ග්‍රේඩ් එක හරිද කියලා.තත්ව පාලන අංශයෙන් සාම්පලයක් අරගෙන බලනවා  මාලුවාගේ ඌෂ්ණත්වය සාමාන්‍යද කියලා. ඊට පස්සේ තමා මාලුවා කැපුම් අංශයට යවන්නේ.

Tuesday, May 17, 2011

සල්ලාල රජුට එරෙහි වූ අරාබි වෙලෙන්දා

මේ කතාව ටිකක් වෙනස් කතාවක් මට කිව්වේ මාලේ ඉන්න යාළුවෙක්!
                                                                    

 කියවලාම බලන්නකෝ..............
මාලදිවයින, (මාලයක හැඩය වෙච්ච දිවයින)
    මීට සෑහෙන කාලෙකට කලින් ථේරවාදී බෞද්ධයෝ හිටපු රටක්ව තමයි තිබිලා තියෙන්නේ.හැබැයි දැන් නම් මේ රටේ ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් අදහන්න නීතියෙන් ඉඩක් නෑ. කොටින්ම කිව්වොත් මෙහෙ දැන් ඉන්නෙ  100%ක්ම සුන්නි මුස්ලිම් වරු. ඔන්න අහගන්නකො එහෙනම් මගේ යාලුවා මට කිව්ව කතාව.


ඒ දවස් වල මෙහෙ රජ කරලා තියෙන්නේ කාමයට ලැදි රජ කෙනෙක්. කවුරුත් දන්නවානේ මාලදිවයින හැදිල තියෙන්නේ ඉතා කුඩා දූපත් සමූහයකින් බව.ඉතිං මේ රජා කරන්නේ තමාගේ චර පුරුෂයන් මිනිසුන් වාසය කරන දූපත් වලට යවලා සුරූපී යුවතියන් (අපරාදෙ කියන්න බෑ...මාලේ ලස්සන කෙල්ලෝ ඉන්නවා මල් පරාදයි...ඕගොල්ලෝ කවදා හරි මාලේ ආවොත් මජිදි මගු පාරේ පොඩි රවුමක් ගහන්න අමතක කරන්න එපා.......) ඉන්නා නිවාස වලට සලකුණක් දමන එකයි. මේ කටයුත්ත වෙන්නේ හොර රහසේ........

යම් කිසි යක්ෂයෙක් ඇවිත් නිවාසවල සළකුණක් දමා යන බවත්,එම නිවසේ ඉන්නා සුරූපී යොවුන් තරුණියක් එම යකාට බිලි දිය යුතු බවත්,එසේ නොවුනහොත් යකා මුලු රටම වනසන බවත් ඔය අතරේ රටේ ප්‍රචාරය කරවනවා.ඊට පස්සේ රජතුමා නිවේදනය කරනවා සලකුණු දමා ඇති ගෙවල්වල ඉන්න යුවතියන් රාජ පුරුෂයන්ට බාර දෙන්න කියලා යකාට බිලි දෙන්න. ඔන්න ඉතිං පහුවදාට රාජ පුරුෂයෝ යකාට බිලි දෙන්න කියලා කෙල්ලෝ උස්සං ගිහිං රජ තුමාට දෙනවා.රජ තුමා මුලින්ම තරුණියව කෙලෙසලා ඔහුගේ හිතවතුන්ටත් දීලා මරලා දානව...රජා නෝන්ඩි නැතුව යකා පිට දාලා ඔය වැඩේ බොහෝම කාලයක් කරගෙන ගියාලු. රජතුමත් පුදුම යකෙක් තමයි නේද?

Monday, May 16, 2011

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.




අද වෙසක්

වෙසක් දවසේ දැනෙන හැගීම වෙනස්ම එකක්.අපේ රටෙන් කොච්චර දුරස් වෙලා හිටියත් ඒ හැගීම අපිටත්  දැනෙනවා. ඒකට තමයි බුද්ධාලම්බන පීතිය කියන්නේ.

මාලදිවයින වගේ මුස්ලිම් රටක ඉන්න කොට වෙසක් සමරන්න,අඩුම ගානේ බකට් එකක් පත්තු කරන්න වත් නීතියෙන් ඉඩක් නෑ.හොද වෙලාවට මොහිදීන් ‍බෙග් මාස්ටර් හිටි‍ය නිසා එතුමාගේ සින්දුවක් දාගෙන බොදු පරිසරයක් Office එකේ මවා ගන්න පුළුවන්.එතකොට හිතෙනවා අපි ඉන්නේ ලංකාවේ කියලා. නමුත් ලංකාවෙදි වෙසක් එකට කවදාවත් සිල් ගත්තේ නැති මම ගිය පාර වෙසක් එකට Embassy එකේ සිල් ගත්තා.ඒ මම ලංකාවෙන් පිට ඉදපු පළවෙනි වෙසක් එක.මේ මම ලංකාවෙන් පිට ඉන්න දෙවෙනි වෙසක් එක ඒ මදිවට 2600 සම්බුද්ධ ජයන්තිය ඒ නිසා සිල් ගන්නම වෙනවා.හැබැයි අපි නම් සිල් ගන්නේ අද නෙමේ සිකුරාදට.මොකද මෙහෙ වෙසක් විතරක් නෙමේ පොසොන්,අවුරුදු ඔය ඔක්කොම සමරන්නේ සිකුරාදට එදාට තමයි ලංකාවේ කට්ටිය ඔක්කොටම එකතු වෙන්න පුළුවන්.

මගේ Blog එකේ මම ගැන කියන තැනට පල්ලෙහායින් තියෙන්නේ මේ සිකුරාදා වැඩසටහන.ඔය ගොල්ලෝ Maldives ඉන්නවානම් Embassy එකට ඇවිල්ලා යන්න එන්න.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.

Saturday, May 14, 2011

සදවතියට බැදි සිත

විහග ගීත නෑසෙන
Hulhumale අහස යට සිට
බලා හිදිමි මම
සදවතිය දෙස

මටම හිමි දෙනයන
කෙදිනක මුණ ගැසේද මට

Saturday, May 7, 2011

අම්මාවරුන්ගේ දිනය

අද අම්මාවරුන්ගේ දිනයලු,

බුදු දහමත් සමග බැදුණු ශිෂ්ටාචාරයක් එක්ක ගැටගැහුනු ශී ලාංකිකයන්ට නම් අම්මලාට සලකන්න වෙනම දිනයක් අවශ්‍ය ‍වෙන්නේ නෑ.
අම්මාවරුන්ගේ දිනය කියන්නේ හුදෙක්ම වෙළද මාෆියාවක් නැත්තම් තවත් ෆැෂන් එකක්

ඒ අම්මවරුන්ගේ දිනය ගැන මට හිතෙන හැටි.
ලියන්න ඔය ගොල්ලන්ට හිතෙන හැටි මෙන්න ඉඩ මගේ තීරු‍වේ.

Wednesday, May 4, 2011

Lasith and Purple Cap



Orange Cap Keep Changing
But Purple Cap Never Changes
Because it's with this Man
But, He never wears it


He doesn't need Purple Caps Or Purple Hats
Batsman getting scared when they see his curly hair


Hat's off for Sri Lankan Idol in Fast Bowling......


චාලි