Sunday, July 17, 2011

1442 ලව් ස්ටොරි ඉන් මොල්දිව්ස්

ඔන්න චාලියා අදත් කියන්න යන්නේ මාලදිවයිනේදි ඇහුණ කතාවක්. මේකත් ඔය අනිත් ඒවා වගේම රජ කාලේ කතාවක් හැබැයි මේකේ පොඩි විශේෂයක් තියෙනවා මේක ඇවිල්ලා ආදර කතාවක්.
ඔය අපි අහලා තියෙනවානේ රෝමියෝ ජුලියට් ඊට පස්සේ ලයිලා මජ්නු එහෙම නැත්තම් ලංකාවට ආවොත් සාලිය අශෝකමාලා වගේ ආදර පුරාවෘන්ත මේකත් ඒ ගණයට වැටෙන මාලදිවයිනේ වෙච්ච කතාවක් මේකෙ පටන් ගැනීම ටිකක් දීඝ ගාමිණී උන්මාද චිත්‍රා කතාවට සමාන කමක් තියෙනවා. හැබැයි අවසානය නම් ඊට වඩා සෑහෙන්න වෙනස් කියවලම බලන්නකෝ.

දොන් හියාලා

දොන් හියාලා කියන්නේ මේ කතාවේ ප්‍රේම වන්තියගෙ නම. මැය අතිශයින්ම රූමත් කාන්තාවක්ලු හිතාගන්නකෝ අයිශ්වර්යා පරාදයි කියලා. කොහොමත් මාලේ කෙල්ලො ලස්සනයි කියලා මම ඔයාලට අර සල්ලාල රජ්ජුරුවන්ගේ කතාවේ කිව්වානේ. ඉතින් අතිශයින් රූමත් කිවාම ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන්නේ මොන වගේ ඇත්ද කියලා.මෙයා මෙච්චර ලස්සන නිසා මෙයාගේ අම්මයි තාත්තයි පොඩි කාලේ ඉදන්ම මෙයාට පිට අයගේ ඇස්වහ නොවැදෙන්න වැඩ කටයුතු සකස් කලා.

ඒ කොහොමද දන්නවද?

මෙයාව ඒගොල්ලො ඇති දැඩි කලේ ගෙදර යට උමන් කාමරයක. ඒකයි මම කිව්වේ මේක ඔය උන්මාද චිත්‍රා සහ දීඝ ගාමිණී කතාව වගේ කියලා.

අලි ෆුල්හු

අලි ෆුල්හු තමා මේ කතාවේ රෝමියෝ නැත්තම් ප්‍රේමවන්තයා එයා ඉදලා තියෙන්නේ හුල්හුදෙලි කියලා දූපතක. වැඩේ කියන්නේ මේ පොරත් ඉපදිලා තියෙන්නේ ඔය දොන් හියාලා ඉපදුණ වෙලාවෙමයි. ඔය අතරේ දවස් දෙක තුනක් මෙයාට සිහිනෙන් පෙනිලා තියෙනවා එයාට හිමි මේ දොන් හියාලා කෙල්ල බුරුනි කියලා දූපතක ඉන්නවා කියලා. මොකද නක්ෂත්‍රය අනුව මේ දෙන්නා එක් විය යුතු බව නිසා මෙහෙම සිහිනයක් පෙනුනා කියලා තමා ජන කතාවල නම් එන්නේ.

ඊට පස්සේ ඉතින් අලි ෆුල්හු යනවා මේ හියාලාව හොයාගෙන බුරුනි දූපතට. ගිහින් එයා මුලින්ම ඒ දූපතේ හදනවා නිවසක් හියාලාටයි එයාටයි පදිංචි වෙන්න. ඊට පස්සේ එයා ගිහින් මුණ ගැහෙනවා මේ ලස්සන දොන් හියාලාව. ටිකක් කාලයක් යද්දි මේ දෙන්නා ඉතාමත් ආදරෙන් වෙලෙනවා ඒ කොච්චරද කියනවා නම් දෙන්නාට දෙන්නා වෙනුවෙන් මැරෙන්න වුනත් පුලුවන් කියන තැනට මේ දෙන්නාගේ ආදරේ දැඩි වුනාලු. ඔන්න ඔහොම ඉන්න අතරතුර හියාලාගෙ දෙමව්පියො තීරණය කරාලු මේ දෙන්නාව කසාද බන්දලා දෙන්න. ඔහොම  මේ දෙන්නා කසාද බැදලා ටික කලක් ගියත් දොන් හියාලා ගැන දැන සිටියේ ඇයගේ සැමියා, දෙමව්පියෝ සහ පවුලේ හිතවතෙක් වන ෆූලුමා කියන පුද්ගලයා පමණක්ලු.

ඔන්න ටික කාලයක් යනකොට මෙන්න මෙ විවාහය අලි ආරවුලක් බවට පත් වෙන්නේ මෙතනට තව අලි කෙනෙක් පැමිණීමත් සමගලු. ලයිමාගු කියන දූපතේ ඉදලා තියෙනවා ෆගීරු අලි කියලා පොරක්. කරුමේ කියන්නේ මේ ෆගීරු අලිත් ඔය අලි ෆුල්හු දැකපු හීනෙම දැකලා තියෙනවා. ඊට පස්සේ එයත් ගිහින් තියෙනවා බුරුනි දූපතට දොන් හියාලාව හොයාගෙන. ෆගීරු දොන් හියාලාගේ ගෙදරට ගිහින් තියෙන්නේ අන්ධයෙක් වගේ රග පාගෙන. කොහොම හරි ඔය ෆගීරුට හියාලාව දැක ගන්න ලැබුනා ඒත් ඊට පස්සේ අලි ෆුල්හුට සහ අනිත් අයට මෙයා ඇත්තටම අන්ධයෙක්ද නෙමේ කියන එක අහු වෙලා තියෙනවා. නමුත් ෆගීරු අලිට කොහොම හරි බුරුනි දූපතෙන් පැන ගන්න පුලුවන් වෙනවා. එයා බුරුනි දූපතෙන් පැන ගෙන කෙලින්ම යන්නේ මාලෙට.

හිතා ගන්න පුලුවන්ද ෆගීරු මාලෙට යන්නේ  මොකටද කියලා?

ඒ දවස් වල රජ්ජුරුවෝ හිටියේ මාලේ ඉතින් ෆගීරු කෙලින්ම එන්නේ රජ මාලිගාවට ඇවිල්ලා රජ්ජුරුවන්ට කියනවා දොන් හියානාගේ ලස්සන. මම කලින්ම කිව්වානේ මාලේ හිටපු එක රජ කෙනෙක් ගැන කතාවක් මේ රජ්ජුරුවොත් ඒ ටයිප් එකේම තමා මෙයාට දොන් හියාලාගේ ලස්සන කියපු ගමන් මෙයාට ඕන වෙනවා දොන් හියාලාව තමන්ගේ අග මෙහෙසිය කර ගන්න. රජ්ජුරුවෝ ෆගීරුට විශේෂ වරප්‍රසාද එහෙම ලබලා දීලා කෙලින්ම යනවා බුරුනි දූපතට. ගිහින් බලෙන්ම දොන් හියාලාව අරන් ඇවිත් විවාහයට ලෑස්ති කරනවා.නමුත් දෛවඥයෝ රජතුමාට කියලා තියෙනවා මේක කරන්න බෑ රජතුමනි මෙයා කලින් විවාහ වෙච්ච කාන්තාවක් කියලා. ඒත් ඉතින් දන්නවානේ රාජාණ්ඩුව කියන්නේ මොකද්ද කියලා. රජා කවුරුත් කියන ඒවා ගණන් ගන්නේ නැතුව මෙයාව විවාහ කර ගන්නවා. නමුත් මේ විවාහය සතියක්වත් තියෙන්නේ නෑ. අලි ෆුල්හු බුරුනි ඉදන් මාලෙට එනවා ඒ අතර සිකුරාදා රජු ආගමික වතාවත් වලට ගිය අතරේ දොන් හියාලා මාලිගාවෙන් එලියට පැන ගන්නවා. මේ දෙදෙනා රහසේම නැවත මුණගැසෙනවා.
ඊට පස්සේ දෙන්නා පැනලා යාමේ මෙහෙයුම ආරම්භ කරනවා. දෙන්නත් එක්ක බෝට්ටුවක නැගලා පැනලා යද්දි රජුගේ නාවුක හමුදාවත් ඔවුන්ගේ පසුපස එනවා. මේ අතර දොන් හියාලාට ඉවසගන්න බැරි පිපාසයක් එනවා. මේ නිසා අලි ෆුල්හු තීරණය කරනවා එක වැලි කණ්ඩියක බෝට්ටුව නවත්තන්න. මේ අතර රජුගේ නාවුක හමුදාව මේ වැලි කණ්ඩිය වට කරනවා. ඊට පස්සේ මේ දෙන්නාට තේරෙනවා ඒ දෙන්නාට ගැලවීමක් නෑ කියලා. මේ දෙන්නා මොකද කරන්නේ තීරණය කරනවා සිය දිවි නසා ගන්න. දෙන්නාත් එක්කම පනිනවා ලග තියෙන මුහුදට ඔන්න ඔහොම තමා මේ ආදර කතාව ඉවර වෙන්නේ.

දැන ගන්න ලැබුන විදිහට නම් මේක වෙලා තියෙන්නේ 1442 වර්ෂයේදී. ඒකයි මේකට 1442 ලව් ස්ටොරි කියලා නම දැම්මේ. පසුව මේ දෙන්නාගේ සිරුරේ කොටස් කාල්හුෆුශි දිවයිනට ගොඩ ගසා තිබුන කියලා තමා ආරංචි වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නාගේ සිරුරු කන්ඩොදූමා කියන දූපතේ වැළලුවාලු. තාමත් මේ රටට එන සංචාරකයන් ඔය කියපු මේ කතාවට සම්භන්ද දූපත් වල රවුමක් ගහන්න කැමතියි කියලයි ආරංචි වෙන්නේ. සමහරු මේ කතාව මිථ්‍යා කතාවක් විදිහටත් හදුන්වනවා. නමුත් සමහරු කියන්නේ මේ ස්ථාන තවමත් මේ දූපත් වල ඒ ආකාරයෙන්ම දකින්න ලැබෙන බවයි....................................

මම මේ බලාගෙන ඉන්නේ මටත් කවදා හරි අලි ෆුල්හුට පෙනුනා වගේ හීනයක් පේනකම්...............

10 comments:

  1. එහෙනම් ඒ හිනෙ පෙනෙවා.........

    ReplyDelete
  2. අද තමයි මේ බ්ලොගයට ‍ගොඩ වුනේ. ලස්සන කතාවක්. බලාගෙන ගියාම දුෂ්ටයො නැති තැනක් නෑ.

    ReplyDelete
  3. මමත් ළගදි ටූනාලන්තයෙ පොඩි ටුවර් එකක් ගියා. ඇත්තටම මාලෙ ගෑනු ළමයි ලස්සනයි. ඒත් කොල්ලොනං අමු කුඩ්ඩො වගේ එවුන් ඉන්නෙ.

    ReplyDelete
  4. හ්ම්ම් .... දුක හිතෙන කතාවක්... මට නම් හිතුනේ මේක ඇත්ත එකක් සිද්දියක් වෙන්න ඇති කියලයි. අස්වාභාවික සිදුවීම් එහෙමත් නෑනෙ..

    ReplyDelete
  5. අහල තිබුනෙ නැහැ මීට කලින්.ස්තුතියි බෙදාගත්තට.දිගටම ලියමු...

    ReplyDelete
  6. @ රුකා හීන නම් හැමදාම පේනවා ඒත් අලි ෆුල්හුට වගේ සැබෑ වෙන හීනයක් කවදා පේයිද?

    @ සුමින්ද බොහොම ස්තූතියි ආවට, ඉස්සරහටත් ඇවිල්ලා යන්න එන්න. දුෂ්ටයො ඉතින් කොහෙද නැත්තේ නේද?

    ReplyDelete
  7. @ බ්ලොග් ගඩොල් ඒක නම් සහතික ඇත්ත මචං, කැතම වැඩේ කියන්නේ ඉන්න ලස්සනම කෙල්ලො එල්ලිලා යන්නේ ඉන්න මෙලෝම රහක් නැති කොල්ලොත් එක්ක

    @ විසිතුරු පේන්න නම් එහෙම අස්වාභාවික සිදුවීම් නැහැ තමා,
    මම හිතන්නේ ඔය හීනෙන් හරියටම කෙල්ල ඉන්න තැන පෙන්නුම් කරන ඒවා එහෙම හින්දා සමහරු මේක මිථ්‍යාවක් කියලා හිතන්න ඇති

    ReplyDelete
  8. @ තීර්ථ යාත්‍රිකයා බොහොම ස්තූතියි ඇවිත් ගියාට දිගටම ලියන්නයි හිතාගෙන ඉන්නේ, මම හිතන්නේ ඔය කතාව හුගක් මාලදිවයින් ජාතිකයෝ විතරයි දන්නේ, මම අහගත්තෙත් අපේ ඔෆිස් එකේ ඉන්න දොන් හියාලා කෙනෙක්ගෙන් තමා.

    ReplyDelete
  9. අලි ෆුල්හු wage math chali dakina hinema kalayak dakka.... Mata Rajata tama kiya ganna bari une.....

    ReplyDelete
  10. @ සුරංග මම තාම හීනේ දැක්කේ නෑ. ඔයා දැක්කා නම් රජ්ජුරුවන්ට කියන්න කලින් ගිහින් දොන් හියාලාව හොයා ගන්න. මම හීනේ දැක්කාම ගිහින් රජ්ජුරුවන්ට කියන්නම්.

    ReplyDelete

කියෙව්වාම මොකද හිතුනේ කියන්නකෝ
හිතේ තියෙන හොදම විදියෙන් ලියන්නකෝ
සිංහල ඕනෑ නම් මෙතනට කොටන්නකෝ
ගූගල් නැද්ද ඇනෝ නමින් දමන්නකෝ