Saturday, June 25, 2011

කිලින් ෆීල්ඩ්ස් (ශ්‍රීලාංකීය දඩබිම්) බොරුවක්ද, බයිස්කෝප් එකක්ද නැත්තම් ඇත්තද?


මොකද්ද මේ කිලින්ග් ෆීල්ඩ්ස්

හැමෝම කතා වෙනවා.මටත් හිතුනා බලන්න මොකද්ද මේ වාර්තා චිත්‍රපටිය කියලා.ටිකක් බලන් යනකොට තමයි තේරුනේ මේක වාර්තා නෙමේ  හොදට සැලසුම් කරලා හදපු චිත්‍රපටියක් කියලා. ඊට පස්සේ තමා මේක ගැන පොඩ්ඩක් උනන්දුවෙන් හොයලා බැලුවේ. මේ බයිස්කෝප් එක හදලා තියෙන්නේ කැලම් මැක්‍රේ කිය්ලා පොරක් ඔය ඉන්නේ එහා පැත්තේ කැමරාවක් බදා ගෙන බුවා තමා මේක හදලා තියෙන්නේ.
2009 අප්‍රියෙල් මාසෙත් චැනල් 4 කට්ටිය 3 දෙනෙක් එවලා තියෙනවා ලංකාවේ යුද්දේ ගැන බයිස්කොප් එකක් හදන්න.හැබැයි මේ නාඩගම හමුදාවට අහු වෙච්ච ගමන්ම තුන් දෙනාව පිටුවහල් කරලා යැව්වා.ඊට පස්සේ එහෙන් මෙහෙන් ලංකාවේ යුද්දේ ගැන අපේ හමුදාවේ වෙබ් අඩවියේ තිබ්බ වීඩියෝ සහ ජංගම දුරකතන වල පටි ගත වෙච්ච පොඩි පොඩි සීන් සහ ඒ ගොල්ලෝ පස්සේ රූ ගත කරපු දර්ශන ඔබලා තම කැලම් කාරයා ඔය බයිස්කෝප් එක හදලා තියෙන්නේ.

අපි හැමෝම දන්නවනේ වියට්නාම යුද්දේට මොකද වුනේ කියලා.ඇමරිකන්කාරයෝ යුද්දේ දින්නේ ෆිල්ම්ස් වලින් විතරයි.මතකනේ කෝල් ඔෆ් ඩියුට්.ඒ හින්දා ඔය ඇමරිකන්කාරයෝ  හරි කැමතියි යුද්දයක් ඉවර උනාම පොඩි ෆිල්ම් එකක් ගහලා ආතල් එකක් ගන්න.ඒකත් ඒගොල්ලෝ කැමති පාර්ශවයට වාසි වෙන විදිහට.ඉරාක යුද්දෙදි දැනට කල ගණනය කිරීම් වලින් පමණක්  සිවිල් ජනතාව 110,761 ක් මිය ගොස් තිබෙනවා.මේවා ගැන ගෝර්ඩන් වේස්ලා නිහඩව ඉන්න එක තමා ප්‍රශ්නේ.

එහෙම නැත්තම් ඕන තරම් උන්ට ෆිල්ම් ගහන්න තිබ්බානේ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ ඉදන් ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වෙනකම් මිනිස්සු කී දෙනෙක් මැරුනාද? ඔය අරන්තලාව භික්ශු ඝාතනය, ශ්‍රී මහා බෝදිය ඉස්සරහා, දලදා මාලිගාව ඉස්සරහා,එතකොට මහ බැංකුව ඉස්සරහා තිබ්බ බෝම්බ , එක සුද්දෙක් ගැහුවද බයිස්කෝප් එකක් ඔය දේවල් වෙනකොට.කිසිම හේතුවක් නැතුව ඉරාකෙට ගැහුවා.කෝ ඒවට බයිස්කෝප්. එතකොට බින් ලාඩන්ව මැරුවෙ නඩු අහලැයි ඕං.ලංකාවේ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරා නම් ඔය සුසේගේ ගෙදර උන්දෑ,එතකොට තමිල් සෙල්වම්ගේ හාමිනේ, ප්‍රභාකරන්ගේ දෙමව්පියෝ බේර ගත්තේ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකෙන්ද?


හරි දැන් එමු මේ අලුත් බයිස්කෝප් එක දිහාවට

Thursday, June 16, 2011

කන්නේ කෙලවල්ලෝ කෝරා හාලේ බතට


ඉන්නේ හුලුමාලේ ෆැක්ටරියක මාලු
ආවේ දේසෙන්මි පරසිදු ඔලිද හට
අඩි පහ ඉඩ හොදටම ඇත සැතපෙන්න
පැදුර නැතද, ලෑල්ල වුව කමක් නැත

කන්නේ කෙලවල්ලෝ කෝරා හාලේ බතට
දමා ගන්නෙ වතුරත් කන බත් පතට
කා නිම වෙන්නෙ ලෙව කෑමෙන් ඇගිලි පහ
බලා ඉන්නෙ කොහොමද මේ කන විදිහ


මාලු උස්සලයි ඇග පත රිදෙන්නේ
යකා බැද ගත්තා වගෙයි වැඩ කරන්නෙ
OT නැතත් මහ රෑ වැඩ කරන්නේ
කම්මැලි කම එහෙ තියලයි අපි මෙහෙ ආවේ

මෙහේ ඇවිත් අවුරුදු හත අටක් වෙති
තම රට යන්න කාගෙත් කිසි වගක් නැති

මාලදිවයිනේ කොහේ ගියත් බංග්ලාදෙශ් ජාතිකයෝ වැඩ කරනවා ඔවුන් වැඩ කරන හැටි දැකලා තමා මට මේ කවි පන්තිය ලියන්න හිතුනේ.

Thursday, June 9, 2011

සනත්, සචින්, රිකී සහ විශ්‍රාම යාම

"පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ටිරාන් ජයසූරිය",එහෙම කිව්වාම සමහර අය හිතයි කවුරු ගැනද ඒ කිව්වෙ කියලා.

සනා බෝයි එහෙම නැත්තම් මාස්ටර් බ්ලාස්ටර් එහෙම කිව්වොත් නම් කට්ටිය දන්නවා.පහුගිය කාලේ ඒ කිව්වේ ලෝක කුසලානය දවස් වල සහ ඊට පස්සේ හුගක් අය මෙයා ගැන කතා වුනා ඇයි මෙයා විශ්‍රාම යන්නෙ නැත්තේ කියලා ඇහුවා.
ඊයේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හොද තීරණයක් අරන් තිබ්බා ඒ තමා මේ සුපිරි ක්‍රීඩකයාට ගෞරවාන්විතව විශ්‍රාම යන්න අවස්තාවක් ලබා දීම. ඒ ඔහුව එංගලන්ත සංචාරයට කැදවලා. සනත් මේ අවස්තාව අපූරුවට පිලිගත්ත බව තමා අද  මාධ්‍ය වාර්තා කරලා තිබුනේ.ඒ ඔහුගේ සමුගැනීම නිවේදනය කරලා.
සමහරු කියනවා අපරාදේ නවකයෙකුට අවස්තාවක් ලබලා දුන්නා නම් ඉවරයි කියලා.ඒ වුනාට Cricket වාර්තා පොතේ අතුරු සිදුරු නැතිව නම තියපු මේ ක්‍රීඩකයාව නිකන්ම හිස් අතින් යවන එකට වඩා මේ දුන්න අවස්තාව අගය කරන්න වෙනවා.
සනත්ගේ සමහර වාර්තා මේ වෙනකොට බිදිලා ගිහිල්ලා.හුගක් ඒවා සහිඩ් අෆ්‍රිඩී තමයි  සතු කර ගෙන තියෙන්නේ.පුදුමත් හිතෙනවා එක ක්‍රීඩකයෙකුට මෙච්චර වාර්තා තිබ්බද කියලා.වේගවත්ම පනහ වේගවත්ම එකසිය පනහ විතරක් නෙමේ තව ගොඩක් වාර්තා තාම නොබිදී පවතිනවා.ඒ අතර මම දැක්කා අරුම පුදුම වාර්තාවක්  ඔයගොල්ලෝ දන්නවනේ  ටෙස්ට්,එක් දින සහ 20-20 කියන හැම තරග මාදිලියකම  වැඩිම ලකුණු වාර්තාව තියෙන්නේ ලංකාවට කියලා. ඒකට හේතුවත් සනත්ම තමා මොකද ඔය හැම තරගයකදිම වැඩිම ලකුනු රැස් කරලා තියෙන්නේ සනත්. සනත්ගේ වාර්තා ඔක්කොම මේ ලින්ක් එකේ තියෙන ලිපියෙ තියෙනවා කියවලා බලන්නකෝ.


සනත් සමුගන්නවා කිව්වාම මට මතක් උනා තව ක්‍රීඩකයෝ දෙන්නෙක් ගැන ඒ තමා සචින් ටෙන්ඩුල්කාර් සහ රිකී පොන්ටින් මේ දෙන්නාටත් දැන් සමුගන්න කාලේ හරි කියලා තමා මට නම් හිතෙන්නේ.මොකද ඇයි ඔබ සමු නොගන්නේ කියන ප්‍රශ්නය අහනකම් ඉන්නේ නැතිව ඇයි ඔබ සමුගන්නේ කියන වෙලාවේ සමුගැනීම තමා වඩා හොද.දැනට ශතකයක් ලබා ගත්ත වයස්ගතම ක්‍රීඩකයා වීමේ වාර්තාව තියෙන්නෙත් සනත්ට මේ දෙන්නා ඒ වාර්තාවත් කඩන්නද දන්නේ නෑ ඉන්නේ.හැබැයි ඒක ලේසි වෙන්නෙ නෑ සනත් තම අන්තිම ඉනිමෙදි ඒ වාර්තාව අලුත් කලොත්.

සනා ඔබට සුබ අනාගතයක් අවසන් ඉනිමේ ශතකයක් ලබා ගැනීමට ශක්තිය ලැබේවා.

Sunday, May 29, 2011

අ‍පේ මාළු ෆැක්ටේරිය

ඒ මම ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස් විගණන ආයතනේ වැඩ කරන කාලේ, හරියටම කිව්වොත් 2009 ජූලි, අපේ  අභ්‍යන්තර විගණනේ ලොක්කා නිවාඩු යන්න ලෑස්ති වෙලා කස්ටියට කරන්න වැඩ බාර දෙනවා. මට කතා කරලා කිව්වා එන්සිස් ‍ෆැක්ටරි එකේ අභ්‍යන්තර විගණයක් තියෙනවා ඒක ලබන සතියේ පටන් ගන්න කියලා. මට මොබයිල් අංකයකුත් දුන්නා ජිබාගේ (සිවා) (අපේ ඉන්දියන් බොසාලා එහෙම තමා "ස" යන්නට කියන්නේ "ජ" යන්න "ව" යන්නට කියන්නේ "බ" යන්න).කොහොම හරි මම කර කර හිටිය වැඩේ දිග් ගැහිලා එන්සිස් ‍එකට ගියේ මගේ විගණන ජීවිතේ හම්බ වෙච්ච හොදම යාළුවා මිලාන්.දවස් දෙක තුනකින් මමත් ගියා.අපි වැඩ පටන් ගත්තේ මාලේ තියෙන ප්‍රධාන කාර්යාලයෙන්.සතියකට විතර පස්සේ තමා ෆැක්ටරි එක බලන්න ගියේ.
ෆැක්ටරි එක තියෙන්නේ හුලුමාලේ. ඒ කියන්නේ මාලේ නගරයේ ඉදන් විනාඩි විස්සක් බෝට්ටුවක යන්න ඕනේ.එතන ඉදන් තව විනාඩි දහයක් පයින් යන්න ඕනේ.එක ගොඩනැගිල්ලක තමා ඔක්කොම තියෙන්නෙ ඒ කිව්වේ ෆැක්ටරිය ගිණුම්, මානව සම්පත්, පරිපාලන, මෙහෙයුම් අංශ විතරක් නෙමේ.ෆැක්ටරි එකේ වෑඩ කරන 180 වක් විතර වන සේවකයන්ට නවාතැන් පහසුකම් දීලා තියෙන්නෙත් එකම ගොඩනැගිල්ලේ.

මාලදිවයිනේ මාලු අහුවෙන කාලයක් තියෙනවලු.අපි ගිය කාලේ මාලු අහුවෙන්නේ නැති කාලේ අපිට නිශ්පාදන ක්‍රියාවලිය බලන්න යන්න ඕනෙ කියලා අපි කිව්වෙ ගියපු පලවෙනි දවසේ වුනත් අපිට ඒ අවස්තාව ලැබුනේ සති දෙකකට විතර පස්සෙ.හදිස්සියෙම දවසක් නිශ්පාදන කලමනාකරු ඇවිල්ලා කිව්වා.අද ඔයගොල්ලොන්ට නිශ්පාදන ක්‍රියාවලිය බලන්න පුලුවන් කියලා. කාලෙකට පස්සේ එදා මාලු ඇවිල්ලා තිබුනා.මාලුවා කිව්වට හෑම මාලුවම මේ ෆැක්ටරි එකේ කපන්නේ නෑ යෙලෝ ෆින් ටූනා කියන මාලුවා තමයි වැඩිපුරම අපනයනය කරන්නේ.යෙලෝ ෆින් ටූනා ගැන වැඩි විස්තරයක් දැන ගන්න ඕනේ නම් රුකාගේ බ්ලොග් අවකාශයේ සී චිකන් කියන පෝස්ට් එක බලන්න.

මේ ෆැක්ටරියේ ක්‍රියාවලිය පටන් ගන්නේ ජැටි එකෙන් එතනට තමා ධීවරයො මාලු අල්ලලා ගේන්නේ එතකොට මාලුන්ගේ මිල නියම වෙල ඉවරයි ඒ කිව්වේ ජෑට්යට ගේන්න කලින් ධීවරයො මාලුන්ගෙ මිල ගණන් මෙහෙයුම් කලමනාකරු එක්ක කතා කරගෙන තමයි මාලු අරගෙන එන්නෙ. මම නම් එච්චර ලොකු මාලු දෑක්කෙත් එදා තමයි සමහර මාලු කිලො අසූවක් ව්තර බරයි.ඒ වුනාට පස්සේ දෑන ගත්ත තොරතුරු වලට අනුව ලංකාවෙත් මේ වගේ මාලු රට යවන කම්පෑනි 38 ක් විතර තියෙනවාලු.හෑබයි GSPසහනය අහිමි වීමත් එක්ක ඒ ෆෑක්ටරි හුගක් අමාරුවෙන්ලු දුවන්නේ.අපි ජැටියට ගියේ මාලු Grade කරනව බලන්න.එතනදි මාලුන්ව Grade A, Grade B, Half grade කියලා grade කිහිපයකට වර්ග කරනවා.ඒකට පාවිච්චි කරන්නේ Grading කූර ඒකෙන් මාලුවට ඇනලා මාලුවගේ ඇගේ තියෙන මස් සාම්පල් එකක් එලියට ගන්නවා.ඒකේ තියෙන පාටයි හැඩයයි අනුව තමා මාලුවගෙ grade එක තීරණය වෙන්නේ.ඊට පස්සෙ තමා ඒ මාලු factory එකට එවන්නේ.එතනදි Receiving supervisor තමා මාලු භාර ගන්නේ.අපේ audit එක කරන කාලෙ නම් Receiving supervisor හිටියෙ රුකා අයියා.එයා චෙක් කරනවා ග්‍රේඩර් දුන්න ග්‍රේඩ් එක හරිද කියලා.තත්ව පාලන අංශයෙන් සාම්පලයක් අරගෙන බලනවා  මාලුවාගේ ඌෂ්ණත්වය සාමාන්‍යද කියලා. ඊට පස්සේ තමා මාලුවා කැපුම් අංශයට යවන්නේ.

Tuesday, May 17, 2011

සල්ලාල රජුට එරෙහි වූ අරාබි වෙලෙන්දා

මේ කතාව ටිකක් වෙනස් කතාවක් මට කිව්වේ මාලේ ඉන්න යාළුවෙක්!
                                                                    

 කියවලාම බලන්නකෝ..............
මාලදිවයින, (මාලයක හැඩය වෙච්ච දිවයින)
    මීට සෑහෙන කාලෙකට කලින් ථේරවාදී බෞද්ධයෝ හිටපු රටක්ව තමයි තිබිලා තියෙන්නේ.හැබැයි දැන් නම් මේ රටේ ඉස්ලාම් දහම හැර වෙන කිසිම ආගමක් අදහන්න නීතියෙන් ඉඩක් නෑ. කොටින්ම කිව්වොත් මෙහෙ දැන් ඉන්නෙ  100%ක්ම සුන්නි මුස්ලිම් වරු. ඔන්න අහගන්නකො එහෙනම් මගේ යාලුවා මට කිව්ව කතාව.


ඒ දවස් වල මෙහෙ රජ කරලා තියෙන්නේ කාමයට ලැදි රජ කෙනෙක්. කවුරුත් දන්නවානේ මාලදිවයින හැදිල තියෙන්නේ ඉතා කුඩා දූපත් සමූහයකින් බව.ඉතිං මේ රජා කරන්නේ තමාගේ චර පුරුෂයන් මිනිසුන් වාසය කරන දූපත් වලට යවලා සුරූපී යුවතියන් (අපරාදෙ කියන්න බෑ...මාලේ ලස්සන කෙල්ලෝ ඉන්නවා මල් පරාදයි...ඕගොල්ලෝ කවදා හරි මාලේ ආවොත් මජිදි මගු පාරේ පොඩි රවුමක් ගහන්න අමතක කරන්න එපා.......) ඉන්නා නිවාස වලට සලකුණක් දමන එකයි. මේ කටයුත්ත වෙන්නේ හොර රහසේ........

යම් කිසි යක්ෂයෙක් ඇවිත් නිවාසවල සළකුණක් දමා යන බවත්,එම නිවසේ ඉන්නා සුරූපී යොවුන් තරුණියක් එම යකාට බිලි දිය යුතු බවත්,එසේ නොවුනහොත් යකා මුලු රටම වනසන බවත් ඔය අතරේ රටේ ප්‍රචාරය කරවනවා.ඊට පස්සේ රජතුමා නිවේදනය කරනවා සලකුණු දමා ඇති ගෙවල්වල ඉන්න යුවතියන් රාජ පුරුෂයන්ට බාර දෙන්න කියලා යකාට බිලි දෙන්න. ඔන්න ඉතිං පහුවදාට රාජ පුරුෂයෝ යකාට බිලි දෙන්න කියලා කෙල්ලෝ උස්සං ගිහිං රජ තුමාට දෙනවා.රජ තුමා මුලින්ම තරුණියව කෙලෙසලා ඔහුගේ හිතවතුන්ටත් දීලා මරලා දානව...රජා නෝන්ඩි නැතුව යකා පිට දාලා ඔය වැඩේ බොහෝම කාලයක් කරගෙන ගියාලු. රජතුමත් පුදුම යකෙක් තමයි නේද?

Monday, May 16, 2011

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.




අද වෙසක්

වෙසක් දවසේ දැනෙන හැගීම වෙනස්ම එකක්.අපේ රටෙන් කොච්චර දුරස් වෙලා හිටියත් ඒ හැගීම අපිටත්  දැනෙනවා. ඒකට තමයි බුද්ධාලම්බන පීතිය කියන්නේ.

මාලදිවයින වගේ මුස්ලිම් රටක ඉන්න කොට වෙසක් සමරන්න,අඩුම ගානේ බකට් එකක් පත්තු කරන්න වත් නීතියෙන් ඉඩක් නෑ.හොද වෙලාවට මොහිදීන් ‍බෙග් මාස්ටර් හිටි‍ය නිසා එතුමාගේ සින්දුවක් දාගෙන බොදු පරිසරයක් Office එකේ මවා ගන්න පුළුවන්.එතකොට හිතෙනවා අපි ඉන්නේ ලංකාවේ කියලා. නමුත් ලංකාවෙදි වෙසක් එකට කවදාවත් සිල් ගත්තේ නැති මම ගිය පාර වෙසක් එකට Embassy එකේ සිල් ගත්තා.ඒ මම ලංකාවෙන් පිට ඉදපු පළවෙනි වෙසක් එක.මේ මම ලංකාවෙන් පිට ඉන්න දෙවෙනි වෙසක් එක ඒ මදිවට 2600 සම්බුද්ධ ජයන්තිය ඒ නිසා සිල් ගන්නම වෙනවා.හැබැයි අපි නම් සිල් ගන්නේ අද නෙමේ සිකුරාදට.මොකද මෙහෙ වෙසක් විතරක් නෙමේ පොසොන්,අවුරුදු ඔය ඔක්කොම සමරන්නේ සිකුරාදට එදාට තමයි ලංකාවේ කට්ටිය ඔක්කොටම එකතු වෙන්න පුළුවන්.

මගේ Blog එකේ මම ගැන කියන තැනට පල්ලෙහායින් තියෙන්නේ මේ සිකුරාදා වැඩසටහන.ඔය ගොල්ලෝ Maldives ඉන්නවානම් Embassy එකට ඇවිල්ලා යන්න එන්න.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.